"ජිවිතය"... කෙනෙක්ට කියන්න පුලුවන් "හෙන බරපතල දෙයක්.." .. තව කෙනෙකුට "ඔහේ ගෙවෙන දෙයක්.." .. තව කෙනෙක්ට "මේ හැමදේම.." .. "මහ විකාරයක්.." සමහරුන්ට.. ඔය ඔක්කොම අතරෙ "අනේ මන්දා.." කියන අයත් නැත්තෙ නෑ..
එකම වචනෙකට ඇයි මේ අර්ථකතන ගොඩක්... එක වෙලාවක රාම ට මෙහෙම හිතෙනව. ඇයි මෙහෙම..?? මේවගෙන් මොකක්ද හරි..?? ඔක්කොම වැරදිද..?? ජිවිතේ කියන්නෙ එහෙම වචනෙන් කියන්න බැරි දෙයක් ද..?? ම්ම්ම්... මෙහෙම හිතීගෙන හිතීගෙන යද්දි රාම ට තව ලස්සන වචනයක් හම්බෙනව.. "බලාපොරොත්තුව" . ජිවිතේට ගෑවිච්ච වචනයක්. ඒ ගැන හිතෙන විකාර ටික ලියල දාන්න ඕනෙ කියල හිතෙනව. කියවල බලල කියල දෙයි හිතෙනව දන්න කෙනෙක් දන්න දෙයක්..
"බලාපොරොත්තුව" හා "ජීවිතය" එකිනෙක හා හොඳින් පැටලුනු කාරණා දෙක කි. එකකින් බේරී සිටින්නට අනිකට නොහැකි අතරම, බේරුණු විට දෙකටම වැඩිකල් පැවැත්මක් ද නොමැත.
ජීවිතය ගැන කෙනෙකුගෙන් විමසූ විට විවිධ පිළිතුරු ඔබට ලැබෙනුයේ ඇයි.? මීට හේතුව වන්නේ ඔවුන් උත්තර ලබා දෙන්නේ ඔවුන්ගේ ලෝකයට සාපේක්ෂව වීමයි.
ඔබ නොදන්නා දෙයක් ඔබ අර්ථදක්වා ගන්නේ ඔබට ඒ පිළිබඳව දැනෙන ආකාරයට ය. එහි වැරදි බාවය හෝ නිවැරදි බාවය පිළිබඳ ඔබ විමසා නොබලන්නේ ඔබේ ලෝකයට, එහි සීමා වලට, එහි නීති වලට අනුකූලව ගත් කල එය නිවැරදි නිසා යි. එහි හැඟීම කොතෙක් ද යත් තමාට වෙනස් උත්තරයක් දෙන කෙනෙක් එසේ කරන්නේ ඇයි කියාවත් ඔබ සොයා බලන්නේ නැත.
මෙසේ සිදුවීමට අදාල පුද්ගලයාගේ ලෝකයේ "බලාපොරොත්තු" යන කුලකය විශාල බලපෑමක් කරයි. ඔබ බලාපොරොත්තු මත තබන විස්වාසය, ඇල්ම, ඔබේ බලාපොරොත්තු වල ප්‍රභලත්වය, එවායේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔබ ක්‍රියා කරන අයුරු හා එවා පිළිබඳ ඔබ දක්වන ආකල්පය යන කරුණු මත ජිවිතය පිළිබඳ ඔබේ ආකල්පය වෙනස් වේ යයි රාම ට සිතෙයි.
බලාපොරොත්තු යනු පුදුමාකාර දෙයකි. මිනිසා නොදන්න නමුත් (සැවොම නොවේ..) මිනිසාව මිනිසෙකු කරන්නේ ද, මිනිසාව නොමිනිසෙකු කරන්නේ ද, මිනිසාව ජීවත් කරවන්නේ ද මේ බලපොරොත්තු යි. මිනිසෙකුගේ ලෝකයේ (භෞතික නොවේ.) කේන්ද්‍රය වන්නේ ඔහුගේ බලාපොරොත්තුයි. ඇත්තටම සිදු වන්නේ මිනිසුන් තම තම ලෝකවල් නිර්මානය කර ගන්නේ මෙම බලාපොරොත්තු වටා යි. එය ඔහු දැනුවත්ව හෝ නොදැනුවත් ව මේ දේවල් ඔහු අතින් සිදු වෙයි. ඔහුගේ ජීවිතයේ පවතින සුලු හැම දෙයක් ම ඔහුගේ තිබෙන හෝ තිබූ බලාපොරොත්තු වල ප්‍රතිපල වේ.
කෙනෙකුට ඇති බලාපොරොත්තු ගොඩවල් කීපයකට බෙදා දැක්විය හැකිය. මීට පදනම වන්නේ එවා කෙරෙහි අපි තබන විශ්වාසය, එවාට ඇති ඇල්ම වැනි කරුණුය.
එක් කොටසක් වන්නේ එදිනෙදා අපිට වීමට තිබෙන සිද්දි වේ. මෙවා අපිට තියනවා වත්දැයි අපි නොදනී. නමුත් ඒවා අප තුල ඇත. ඒවා පවතිනවා යන්න අපට නොහැගෙන්නේ ඒවාට අප දැන් පුරුදු වී, හුරු වී ඇති නිස යි. යම් දෙයකට හුරු වූ විට එහි ඇති අපූර්වත්වය අපට නොපෙනී යයි. යම් දෙයකට පුරුදු වීම, හුරු වීම කෙනෙකුට හොඳ දෙයක් කිව හැක. නමුත් රාමා පිලිගන්නේ එය මිනිසෙකුට වෙන්න පුළුවන් නරකම දේ වලින් එකක් බවය. අපි ඒ ගැන තවත් දවසක වෙනත් ලිපියකින් බලමු. ඉහත කී වර්ගයට එක් උදාහරනයක් වන්නේ, කෙනෙක් උදේ නැගිටිනවිට එදින රාත්‍රියේ නැවතත් නිදා ගැනීමට හැකිවේය යැයි ඇති බලාපොරොත්තුවයි. හැමදාම එය අප තුල පවතී. එහෙත් එය තියන බව අපට ගානක් නැත.
තවත් වර්ගයක් මෙසේ යි. "ඒක තිබුනොත් හොඳයි. නැතත් කමක් නෑ." මේ අයුරින් ඔබට සිතී තියෙන්නට හැක. ඒ ඔබට අවශ්‍ය නමුත් වේ දැයි නිශ්චය නැති, එතරම් ඇල්මක් නැති දේවල් ය, බලාපොරොත්තුය. මේ බලාපොරොත්තු ඉටු වනවාට ඔබ කැමතිය. නමුත් ඒවා ඉෂ්ඨ කරගැනීමට ඔබ එතරම් වෙහෙසෙන්නේ ද නැත.
මීලඟ වර්ගය නම් ඔබ එදිනෙදා ජිවිතයේ තබා ගන්නා සාමාන්‍ය ව්‍යවහාරයේ බලාපොරොත්තු නමින් හඳුන්වන දෑ ය. මේවා ඔබට ඉතා අවශ්‍ය කරන ආසා කරන, ඇල්ම වැඩි දේවල් ය. ඔබ තමන්ගේ සියලු ධනය කාලය වැය කරමින් මේවා සපුරාගන්නට වෙහෙසෙයි. එය ඉටු කර නොගැනීමෙන් ඔබ හිත් තැවුලට පත් වේ. මේවා කෙටි කාලීන සැළසුම් මගින් ඉටු කර ගත හැකි අතර එය ඉටු කර ගැනීම ආඩම්බරයට කරුණක් වෙයි.
දීර්ඝ කාළීන සැලසුම් තනාගෙන වැඩ කරන බලපොරොත්තු කොටසක් ද වේ. මේවා ඉටු වීමේ හෝ නොවීමේ හැකියාව ඔබ දන්නේ නැත. ඔබ එය සිතන්නේ ද නැත. එහෙත් එය ඉටු කර ගැනීම ඔබ ඔබේ එල්ලය ලෙස තියා ගනී. ඔබ කැමතිම දෙය වන්නේ එයයි. ඔබේ ජීවිතයේ වැදගත් ම දෙය වන්නේද එයයි. එය නැති වීම මහා දුකක් වන අතරම එය ලැබීම ඔබ ජීවිතයේ ලබන විශාලම සතුට ද වේ. මෙය ඉටු කර ගැනීමට ඔබට අවුරුදු 15, 20 ක් ගත වීමට පුළුවන. නමුත් ඒ මුලු කාලයම තුල ඔබ එයින් තම දෑස ඉවතට ගන්නේ නැත. මෙය කරා යන ගමන ඔබගේ ජීවිතය වේ. ඔබ බොහෝ දෑ මෙම ගමනින් ඉගෙන ගනී.
"සිහින" යනුවෙන් අප හඳුන්වන බලපොරොත්තු කොටස ජීවිතයේ ඔබට ඇති බලාපොරොත්තු වලින් සොඳුරුම බලපොරොත්තු කොටස වේ. ඒවා ඉතාමත් සුන්දරය, ආශ්චර්යමත් ය, විරල ය, තමන්ට පූජනීය ය. මේවා ඉටු වේ යයි ඔබට කිසිඳු විශ්වාසයක් නොමැත. නමුත් ඔබ ඒවා පතයි. ඒවා හඹා යයි. මෙය සිදු වන්නේ ඔබේ අනු දැනුමකින් නොවේ. ඔබ එය ඉටු නොවන බව දන්නා නමුදු යටි හිතින් ඒවා ප්‍රාර්ථනා කරයි. ජීවිතේ සුන්දර කරවන්නේ මේවා වේ. ඔබට නොදැනීම ඔබ මේවා ලඟා කරගැනීමට වැඩ කරයි. ලෝකයම කීවත් පලක් නැති වැඩක් කියා, ඔබටම තේරුනත්, ඔබ එය අත් හැරීමට සූදානම් නැත.. මේවා ඉෂ්ඨ වූවොතින් ඔබ "දෙවියන්" යැයි ඔබට හැඟෙනු ඇත. මෙය මායාවක් යැයි සිතෙනු ඇත. නමුත් එය ඔබේම වැඩ වල ප්‍රතිපලයක් මය. ඔබට නොදැනීම ඔබ කරපු දෑ වල ප්‍රතිපලය. මේවා "සිහින" වුවද , ඉටු වෙන වෙලාවල් නම් එමටය.
මදක් සිතා බලන්න. "ජීවිතයේ" මූලය "බලාපොරොත්තුවය". නමුත් "බලාපොරොත්තුව" වැඩිවන, සුන්දර වන තරමට ම "ජීවිතය" අසුන්දර වන්නේ ය. "බලාපොරොත්තුව" සරල වන්නට වන්නට "ජිවිතය" සංකීර්ණය. (සරල බලපොරොත්තු යනු ඇල්ම වැඩි, ඉටු කරගැනීමට හැකි යයි සිතන, විශ්වාස කරන ඒවායි.) "ජීවිතය" සුන්දර නම් එහි "බලාපොරොත්තු" ඉතා කුඩාය, සංකීර්ණය, තිබුනත් නොතිබ්බා සේය. ඒ කෙසේ වෙතත් "බලාපොරොත්තු" නැති තැන "ජීවිතය"ත් නැත.
"ජීවිතය හා බලාපොරොත්තුව පුදුමාකාර නොවේ ද....!!"