එදිනෙදා ජිවිතයේ අපි කරනා සෑම දෙයකදීම අපිට තේරීම් ලැබේ. එය දෙකක් හෝ ඊට වැඩි ගණනකි.මම මෙසේ කී විට එය එසේ නැති බවත්, සමහර දේවල් වලදී එක තෝරාගැනීමක් පමණක් තිබෙන බවත් ඔබ පවසන්නට පුළුවන. නමුත් හොඳින් සිතා බලන්න, එක තෝරාගැනීමක් පමණක් තිබිය හැකිද. තිබෙන්නේ එක මාර්ගයයි නම් එය තෝරා ගැනීමක් වන්නේ කෙසේද..? නැත.. අපිට සෑම විටම එකකට වඩා තෝරාගැනීම් ඇත. ප්‍රශ්නය වන්නේ ඒවායින් සමහර තෝරාගැනීම් අපිට නොතේරීමයි..
අපි තෝරාගන්නා අයුරු එකිනෙකාගෙන් වෙනස් වන අතර ඒවා එකිනෙකාට ආවේණික වේ. කිහිප දෙනෙකුට එකම තේරීම තිබුණත් ඔවුන් ඒවා තොරාගන්නා ආකාර වෙනස් ය. සෑම තෝරාගැනීමකම පදනම යම් කිසි සිතිවිල්ලක් වේ. ඔබට ඇතිවන සිතුවිලි ඔබට ආවේණික වන අතර එයට බලපාන හේතුද ඔබටම අවේණික වේ. එය ඔබේ පෞර්ෂයේ ලක්ෂණ පිළිබිඹු කරන දර්ශකයක් ද වේ. කෙසේ වෙතත් මා පැවසූ පරිදි මේ නිසා අපේ තොරා ගැනීම් විවිධාකාරය.
යම්කිසි දෙයක් ඔබ තෝරාගත් පසු එය ඉබේම ඔබගේ තීරණයක් වේ. ජිවිතයේ ඔබ කරන ලොකු වේවා පොඩි වේවා සෑම තෝරාගැනීමක් ම ඔබගේ තීරණයකි. මෙම තෝරාගැනීම් පසුපස ඇති සිතිවිල්ල ඇති වන හේතූන් විවිධ විය හැකිය. එය යම් යම් දේවල් වල බලපෑම් මත ඇති වුණා වුවද, තීරණය ඔබේම වෙයි. මන්ද බලපෑම් වලට යටවීමද ඔබ කරනා ලද තෝරාගැනීමක් වන නිසාවෙනි.
තිරණ ගන්නා අයුරින් වර්ග තුනක් ගෙනහැර දැක්විය හැක. ඒවා නම්,
1. ඔබ තනිව ගන්නා තීරණ
2. සමූහයක් ලෙස ගන්නා තීරණ
3. කවුරු හෝ විසින් ඔබට අරන් දෙන්නාවූ තීරණ
මෙහි පළමු හා දෙවන වර්ග ගැන නම් ඔබට පහදා දීමට අවශ්‍ය වන්නේ නැත. නමුත් වැදගත්ම වන්නේ පළමු වර්ගයයි. මක් නිසාද යත් අනිත් කොටස් දෙකම පළමු වර්ගයේ තීරණ මත රඳා පවතින බැවිනි. තෙවෙනි වර්ගය වන්නේ සංස්කෘතියෙන් හෝ නීතියෙන් ඔබට ලබා දී ඇති තිරණ ආකාරයේ තීරණයි. උදාහරණයක් ලෙස ඔබට නිර්වස්ත්‍රයෙන් පාරේ නොයන ලෙසට සංස්කෘතියෙන් තීරණයක් ලැබී ඇත. ඒ නිසා ඔබ එසේ පාරේ නොයයි. ඔබ අප්‍රිකාවේ ජිවත් වන ගෝත්‍රයකට අයත් ගෝත්‍රිකයෙක් නම් ඔබට එය ප්‍රශ්නයක් නොවේ. නමුත් ඔබට මෙහෙදීද එසේ කළ හැකිය (කැමතිනම්). එය ඔබේ තීරණයයි. එවිට ඔබේ තිරණය සංස්කෘතියෙන් දී ඇති තීරණය නොපිළිපදීමයි. මා මුලින් අප ගන්නා තීරණ අනික් දෙකටම වඩා වැදගත් කීවේ එබැවිනි.
තීරණ යනු ඉතා බලවත් සංකල්පයකි. සංකල්ප, තීරණ වලට හේතු වෙනවා මෙන්ම තීරණ ද සංකල්ප වලට හේතු වේ. සංකල්පයක මූලය යම් තීරණයක් වන අතර , තීරණයක මුල සංකල්පයක් විය හැක. නමුත් මෙහි තීරණ වඩා බලවත් තැනක් ගනී.. ඒ මක් නිසාද යත්, සංකල්පයකට තීරණයක් වෙනස් කල නොහැකි වුවද.. තීරණයකට සංකල්පයක් සම්පූර්ණයෙන් වෙනස් කල හැකි බැවිනි..
සංකල්ප වර්ග ද කීපයකි. ඒවා නම්,
1. අපිම සාදාගන්නා සංකල්ප,
2. අපෙ ඔළුවට පටවා ඇති සංකල්ප
3. පොදුවේ මනස විසින් අපිට ලබා දී ඇති සංකල්ප
අපිම සදා ගන්නා සංකල්ප වන්නේ අපේ තීරණ මත පදනම් ව අපි සාදා ගන්නා සංකල්පයි. උදාහරණයක් ලෙස ඔබ මකුළුවන්ට බය යැයි සිතන්න. එය ඔබ විසින් ගන්නා ලද " මම මකුළුවන්ට බයයි" යන තීරණය මත ගොඩ නැගුණු සංකල්පයකි. නමුත් යම් කිසි ක්‍රමයකින් ඔබේ මනසේ ඇති ඉහත තීරණය වෙනස් කළහොත් ( දැනටත් මෝහන ක්‍රමයෙන් මෙය කරයි.) ඔබේ ඒ සංකල්පය ද වෙනස් වී ඔබට මකුළුවන් කෙරේ ඇති බය නැති වී යයි.මේ ආකාරයේ දේවල් පළමු ගණයට අයත් වේ.
අපේ ඔළුවට පටවා ඇති සංකල්ප නම් පොඩි කාලයේ සිට අපිට ඉගැන්වූ දේවලුයි. සංස්කෘතිය, අදහන/පිළිපදින ධර්මය, විද්‍යාව වැනි බොහෝ දෑ බලෙන් අපේ කරමත තැබූ සංකල්පයි. නමුත් මෙහි වෙනස වන්නේ මේවා අපි පිළිගෙන පවතින නිසාවෙනි. අපි මේවා පිළිගැනීමට තීරණය කිරීම නිසා එවා අපේ සංකල්ප වී ඇත. රාමා පිළිගන්නා පරිදි පුද්ගලයන්ට තමන්ගේම කියා සංකල්ප සාදා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් සංකල්ප බලෙන් එබ්බවීම නොකළ යුතුය. එයින් මිනිසාගේ සිතීමේ හැකියාව අගුල් දමන බව රාමා විශ්වාස කරයි.
පොදුවේ මනස විසින් අපිට සංකල්ප රාශියක් ලබා දී ඇත. බඩගින්න, ජිවත් වීම, ආදරය ආදියේ සිට එකි මෙකි නොකී බොහෝ දෑ අපිට මනසින් ලබා දී ඇති සංකල්ප වේ. මේවා එදිනෙදා ජිවිතයේදී අපිට සංකල්ප කියා වත් නොහැඟෙන , තැකීමක් වත් නොකරන සංකල්ප වේ.
බොහොමයක් මේ සංකල්ප පදනම් වන මූලික තීරණ වන තෝරාගැනීම් අපි සිදු කරන්නේ එහි ඇති තෝරාගැනීම් පිළිබඳ අවබෝධයක් නොමැතිවය. එම නිසා පෙනෙන්නේ එක තෝරාගැනීමක් පමණක් වන්නට පුළුවන. නමුත් හොඳට කල්පනා කරොත් තෝරාගැනීම් එකකට වඩා තිබෙන බව ඔබට පෙනෙනු ඇත. එය දුටු විට ඔබට මනසට අවශ්‍ය පරිදි නොව ඔබට අවශ්‍ය පරිදි ඔබව පාලනය කරගත හැකිවෙනු ඇත..
තෙවෙනි වර්ගයේ ඒවාට පමණක් නොව පළමු වර්ගයේ ඒවාටද ඉහත ප්‍රතිකාරය වලංගුය. ඔබට බෑ කියා හිතන දෙයක් ඇත්තටම ඔබට බැරිද..?? නැත ඔබ ඔබට බෑ කියන තීරණය මත පදනම් වූ සංකල්පය මත වූ සිතුවිල්ලක ඔබ ඇලී හිඳී. එම තීරණය වෙනස් කල මොහොතේ සිට ඔබට කිසි දෙයක් බැරි වන්නේ නැත. බටහිර " Positive Thinking" කියා පවසන්නේ මේ සංකල්පයයි. තිරණය වෙනස් කිරීම් පිළිබඳව ඔබ ලොකු අවධානයක් ලබා දිය යුතුය. සිතුවිල්ලක් ආ පමණින් තීරණයක් වෙනස් වන්නේ නැත. ඊට හොඳ මානසික ශක්තියක් මෙන්ම ඒකාග්‍රතාවයක් අවශ්‍ය ය. ඒවා පුරුදු පුහුණු කල යුතුය. ඔබ සාදාගත් සංකල්ප ඔබට මෙසේ වෙනස් කර ගත හැක.
මට සිතෙන හැටියට මනස විසින් අපට දී ඇති සංකල්පද අපට වෙනස් කල හැකිය. සරලවම තීරණය වෙනස් කල හොත් මනස විසින් දෙන සංකල්පද වෙනස් විය යුතුය. නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත. මක් නිසාද යත් මනස තමන් ඉදිරිපත් කරනු ලබන සංකල්ප වෙනස් කිරීමට, අභිබවා යාමට ලේසියෙන් ඉඩ දේ යැයි සිතිය නොහැකි බැවිනි. එය හරියට මහ පාරක නිර්වස්ත්‍රව යනවා වගේය. සමාජයෙන් ඔබට ලේසියෙන් එහි සංකල්ප වෙනස් කරන්නට ඉඩ දේවි ද..?? මා සිතන අයුරින් බෞද්ධ දර්ශනයේ එන ධ්‍යාන ලැබීම යනු මෙසේ මනසෙන් අප හට දෙන සංකල්ප, තීරණ වෙනස් කිරීම මගින් වෙනස් කිරීමයි. එසේ වෙනස් කළහොත් අපිට කෙතරම් දේවල් කිරීමට හැකිදැයි සිතන්න....
මා අවසානයේදී පැවසූ දෑ නැතත් ඊට පෙර පැවසූ දෑ ගැන මොහොතක් සිතන්න. කම්මැලිකම, හිතේ ප්‍රශ්න සියල්ලන්ටම මුල් වෙන සංකල්ප වෙනස් කර ගතහොත් ජිවිතය ඔබට අවශ්‍ය පරිදි ගෙන යාමට ඔබට හැකිවෙනු ඇත. එයින් වඩා ලස්සන යහපත් ජීවිතයක් ඔබට හිමිවනු ඇත. ඔබ ගන්නා තීරණ හා ඔබේ සංකල්ප ගැන මදක් නොව සෑහෙන්න සිතීම ඔබින යැයි මට සිතේ.
එය තෝරා ගැනීම ඔබට බාරයි...!!!


